Thursday, August 23, 2012

යාපනයේ දුම්රිය පොළේ සිටින පවුල්වලට තෙමසක දී ඉඩම්

යාපනය දුම්රිය පොළේ තාවකාලිකව නවාතැන්ගෙන සිටින සියලුම සිංහල පවුල් වෙත මාස 03 ක් ඇතුළත ඔවුන්ට අයත්ව තිබූ ඉඩම් පවරාදීමට රජය කටයුතු යොදා ඇත. රජයට හෝ කිසිදු වගකිව යුත්තකුට නොදන්වා සරණාගතයන් ලෙස දුම්රිය පොළේ සිටින ජනතාව කෙරෙහි සානුකම්පිතව අවධානය යොමුකර ඔවුන්ට අවශ්‍ය පහසුකම් සැලැසීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තමා වෙත උපදෙස් ලබා දුන් බව නැවත පදිංචිකිරීමේ ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු මහතා කීය.
මෙසේ අඩු පහසුකම් යටතේ සිටින ජනතාවට අයත් නීත්‍යානුකූල ලියවිලි සලකා බලා ඔවුන්ට හිමි ඉඩම් යළි පවරා දීමටත් එසේ නීත්‍යානුකූ®ල ලියවිලි නොමැති පිරිස් වෙත විකල්ප ඉඩම් ලබාදීමටත් පියවර ගන්නා බවද ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය. මේ සියලු කටයුතු ආණ්ඩුකාරවරයා, දිසාපති, ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරීන් දැනුවත් භාවයෙන් සිදු කෙරෙන බවද පැවසූ ඇමැති මිල්රෝයි, කිසිවකුට අසාධාරණයක් නොවන අයුරින් සිය අයිතිය ලබා දෙන බවද කීය. මේ වනවිට දුම්රිය පොළේ සිටින එක් පවුලකට සතියකට රුපියල් දාහක (1000/=) සලාකයක් ලබාදෙන බවද පැවසීය.
උතුරු ප්‍රදේශයේ පදිංචි කිරීම් සිදුකර අවසන් වීමට තව මසක් වැනි කෙටි කලක් ගතවනු ඇති බවද මේ වනවිට අවතැන්වූ ලක්ෂ තුනකට ආසන්න පිරිසගෙන් විසිදාහකට අඩු පිරිසක් පදිංචි කිරීමට සිටින බවද කීය.
යුද්ධය අවසන් කාලය පැවැති වෙඩිතලතිව් වැනි ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අවසන් වූ වහාම යළි පදිංචි කිරීම් අවසන් කරන බවද කී ඇමැතිවරයා සහන ගම්මානවල සිටින ජනතාව වෙත රජය මගින් අඛණ්ඩව සහනාධාර ඇතුළු පහසුකම් ලබාදෙන බවද කීය.සිය ඉඩම් සම්බන්ධයෙන් පවතින ගැටළු තමා වෙත ඍජුව දුරකථන අංක 0777- 237773 හෝ 031 2255368 දන්වන ලෙසද ඇමැති මිල්රෝයි ප්‍රනාන්දු වැඩිදුරටත් කියා සිටියේ ය.
.
(sachi)

No comments:

Post a Comment