Thursday, August 23, 2012

යාපනයේ සිවිල් වැසියන්ගේ ඉඩම් බලෙන් අල්ලාගෙන නෑ

යුද හමුදාව අවධාරණය කරයි


කිසිඳු අවස්ථාවක යාපනයේ ‍වෙසෙන සාමාන්‍ය ජනතාව සතු ඉඩම් හා නිවාස රජයේ හමුදාව විසින් බලහත්කාරයෙන් අත්පත් කරගෙන නැතැයි ශ්‍රී ලංකා යුද හමුදාව අවධාරණය කරයි.
මෙලෙස රජයේ හමුදාව යාපනයේ සාමාන්‍ය ජනතාවගේ ඉඩම් හා නිවාස බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින බවට ඇතැමුන් විවිධ ප්‍රචාර ‍පතුරුවන අතර එවැන්නක් කිසි විටෙකත් සිදුවී නොමැති බවද එම ප්‍රකාශ මුළුමනින්ම අසත්‍යයක් බවද යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා පැවසීය.
1995 වසරේ සිට රජයේ හමුදාව යාපනයේ සිය රාජකාරි කටයුතු කරන බව සිහිපත් කළ ආඥාපතිවරයා ඇතැම් ස්ථාන වලදී සිවිල් ජනතාවගේ ඉඩම් හා නිවාසවල රැඳී සිටින බවද එහිදී අයිතිකරුවන් වෙත මාසිකව කුලී ගෙවන බවද සඳහන් කළේය.
මුල් කාලයේ සිට හමුදාව රැඳී සිටි ඉඩම් හා නිවාස වලින් සියයට 56 ක ප්‍රමාණයක් දැනටමත් ඒ ඒ දේපළවල අයිතිකරුවන් වෙත බෙදා දී තිබෙන බව සඳහන් කළ මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ මහතා සෙසු සියයට 44ක ඉඩම් සහ දේපළ ප්‍රමාණයද එහි හිමිකරුවන් වෙත බෙදා දීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේය.
මේ අතර ඒ මහතා සඳහන් කළේ යාපනය දිස්ත්‍රික්කයේ පවතින රජයේ ඉඩම් කිහිපයක් හමුදාව වෙනුවෙන් ලබාදෙන ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි මහතාගෙන් ඉල්ලා තිබෙන බවත් එම ඉඩම් ලබාදීමෙන් පසුව හමුදාව සඳහා ස්ථිර කඳවුරු ගොඩනඟා ගැනීමට හැකියාව ලැබෙන බවත්ය.
යාපනය දිස්ත්‍රික්කයේ රජයේ ඉඩම් පවතිනුයේ අවම ප්‍රමාණයක් බව පෙන්වාදුන් යාපනය ආරක්ෂක සේනා ආඥාපතිවරයා එයින් කිහිපයක් හමුදාව වෙත පබා දෙන ලෙස ඉල්ලා ඇතැයිද සඳහන් කළේය.
අනුග්‍රහය : දිනමිණ
(sachi)

No comments:

Post a Comment