'නව චක්‍රලේඛය අවලංගු කරන්න'
උ/නැ ඉඩම් අයිතියට ටී.එන්.ඒ. මන්ත්‍රී උසාවි යයි
අභියාචනාධිකරණයට පෙත්සමක්
උතුර හා නැගෙනහිර පළාත්වල පිහිටි ඉඩම් විධිමත් ලෙස පාලනය කිරීම සඳහා බව කියමින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා විසින් 2011 ජුලි 22 වැනිදා නිකුත් කරනු ලැබූ අංක 2011/04 දරන චක්‍ර ලේඛය බලරහිත කර අවලංගු කරන්නැයි ඉල්ලා ද්‍රවිඩ ජාතික සන්ධාන පත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතිඥ පී. ඒ. සුමන්තිරන් මහතා ඊයේ (24 වැනිදා) අභියාචනාධිකරණයට රීට් පෙත්සමක් ගොනු කළේය.
ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් උසාවි කැඳවා පෙත්සම යිළියන්ද සම්පූර්ණ විභාගයක් පවත්වා අවසන් වනතුරු එම චක්‍රලේඛය අනුව කිසිදු පියවරක් ගැනීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා ඇත.
සුමන්තිරන් මහතා සිය පෙත්සමෙන් කියා සිටින්නේ පාර්ලිමෙන්තුවේ අනුමැතියකින් තොරව චක්‍රලේඛයක් නිකුත් කිරීමට ඉඩම් කොමසාරිස්වරයාට නීතියෙන් බලයක් නැති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට පවරා ඇති කාර්යයන් ඉටුකිරීමට ඉඩම් කොමසාරිස්ට අයිතියක් නැති බවත් එනිසා ඔහුගේ චක්‍රලේඛය බල රහිත කළ යුතු බවත් ඔහු කියා සිටී.
රජයේ ඉඩම්වල පුද්ගලයන් පදිංචිකරවීමේ අයිතිය හා එම ඉඩම් සම්බන්ධයෙන් පැන නැගී ඇති ආරවුල් විසඳීම පාර්ලිමේන්තුවට අයත් කාර්යයකි. ඒ සඳහා යම් ක්‍රියාවලියක් සකස් කරනු ලැබිය යුත්තේ පාර්ලිමේන්තුව විසිනි.
රජයේ ඉඩම්වල අයිතියට අදාළ ලියකියවිලි නැතිවීම ඉක්මනින් සොයා බැලිය යුතු ඉතා බරපතළ ප්‍රශ්නයක් බව පිළිගන්නා නමුත් එය පවතින නීතිවලට අනුව කළ යුතු යෑයිද පෙත්සම්කරු කියා සිටී.
අලුතින් ඉඩම් බෙදාදීම තාවකාලිකව අත්හිටුවීම, අවතැන්වූ හෝ උන්හිටි ස්ථාන හැර ගිය අය නැවත පදිංචි කරවීම, ඉඩම්වල අයිතිය කීමට තිබූ මුල් ලියවිලි විනාශ වී ඇත්නම් ඒවාට අලුතින් ලියවිලි නිකුත් කිරීම, ඉඩම් සංවර්ධන ක්‍රියාවලියට පළාත්වල නිලධාරීන්ට අමතරව ආරක්ෂක අංශවල අණදෙන නිලධාරීන් සහභාගි කරවා ගැනීම, ඉඩම් නිරවුල් මණ්ඩල පත්කිරීම, නිසියාකාරව ගෙවීම් කර නැති අයගේ බලපත්‍ර දීර්ඝ නොකිරීම යනාදී කරුණු ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ චක්රලේඛයෙන් ආවරණය වී ඇති බවද පෙත්සමේ සඳහන් වේ.
ඉඩම් කොමසාරිස් ජනරාල් ආර්. පී. ආර්. රාජපක්ෂ, ඉඩම් සංවර්ධන අමාත්‍යාශයේ ලේකම් ටී. අශෝක පීරිස්, උතුර පළාත් ඉඩම් කොමසාරිස් පී. නයනාන්තන් නැගෙනහිර පළාත් ඉඩම් කොමසාරිස් අනුර ධර්මදාස, ත්‍රිවිධ හමුදාපතිවරු හා නීතිපති පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.
යාපනය හා කිලිනොච්චි දිස්ත්‍රික්ක තුළ තමාට අයත් ඉඩම් තිබෙන බවත් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාගේ ඉඩම් චක්‍රලේඛය ක්‍රියාත්මක කරනු ලැබුවහොත් පෞද්ගලික වශයෙන් තමාට බලපෑමක් ඇති වන බවත් එනිසා පෙත්සම් ගොනු කළ බවත් සුමන්තිරන් මහතා සිය පෙත්සමේ මුලසිට සඳහන් කර ඇත.
(සචිත්ර වික්‍රමනායක +දිවයින news/ diwaina online/http://www.divaina.com/2011/10/25/news20.html)
No comments:
Post a Comment